මැදපෙරදිග රැකියා පෙන්වා රු. ලක්ෂ 40ක් වංචා කළ සැකකාරියක් අල්ලයි
මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ජූනි මස 16 දින ගම්පොළ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කටාර්, ඩුබායි ඇතුළු මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසා ගම්පොළ ප්රදේශයේදී පදිංචි වත්සලා චාරුනී දිසානායක නම් කාන්තාවක් මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියා ලබා නොදුන් බවට කාර්යාංශයට පැමිණිලි 7ක් ලැබී තිබුණු අතර එම පැමිණිලි වලට අනුව මෙම කාන්තාව වංචා කර ඇති මුදල් ප්රමාණය රුපියල් ලක්ෂ 40ට අධික වේ. මෙයට පෙර ගම්පොළ පොලිසිය මගින් ද ඇයට විරුද්ධව අධිකරණයේ නඩු පවරා ඇත.
ගම්පොළ පොලිසියේද සහය ඇතුව දැඩි පරිශ්රමයක් දැරීමෙන් අනතුරුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ගම්පොළ පොලිසියේ රදවා ප්රශ්න කිරීම් සිදු කරන ලදී. මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බව සැලවීමෙන් පසු මෙම කාන්තාවට මුදල් ලබා දුන් තවත් පුද්ගලයන් ගම්පොළ පොලිසියට පැමිණ පැමිණිලි කර තිබේ. එම පැමිණිලි සම්බන්ධයෙන් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය ඉදිරියේදී විමර්ශනය කිරීමට නියමිතයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ දින (6/17) ගම්පොළ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින (6/18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්රත්වරයා නියෝග කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
